Thursday, June 11, 2015

විටමින් බහුලද? කාර්යය බහුලද?

විටමින් බහුලද? කාර්යය බහුලද?

ලොව මිනිසුන් කොතෙකුත් සිටියද ඒ සෑම අයෙක්ම එකිනෙකාට වෙනස් ලක්ෂණ වලින් යුක්ත වේ. මනුෂ්‍ය ශරීරය යනු ලොව විස්මිත නිර්මාණයකි. එම නිමැවුම විස්මිතව පවත්වාගෙන යන ප්‍රධාන බලවේගය ආහාරය. වාතාශ්‍රය ජලය නොමැතිව සිටිනවාට වඩා වැඩි කාල පරාසයක් ආහාර නොමැතිව සිටිය හැකි බව සත්‍යයකි. එහෙත් බුද්ධ දේශනාවට අනුව සියලු සත්ත්වයෝ ආහාරයෙන් යැපෙති. යමෙකු දිගින් දිගටම ආහාර නොගන්නේ නම් එය දිගු කාලීනව නීරෝගී දිවි පැවැත්මට බාධා ඇති කරයි. ඒ නිසාම ආයුර්වේදය සඳහන් කරනුයයේ ප්‍රාණය ශරීරය තුළ පවතිනුයේ ආහාර නිසා යන්නයි. මේ තුළ අවධාරණය කරනුයේ ආහාරයේ ඇති වැදගත් බවයි.

ලාභය පදනම් කරගත් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය තුළ මිනිසා යනු යන්ත්‍රයකි. ඔහුගේ ශ්‍රමය විශේෂීකරණයකට ලක් කර ඇත. නැතහොත් ඔහු සේවා ආයතනය තුළ එකම කාර්යයක් වෙනුවෙන් විශේෂ පුහුණුවක් ලත් අයෙකි. එවන් ආයතනයක ප්‍රධානියා ආහාර වෙනුවට ඔහුට ලබා දෙනුයේ ඒ ඒ දිනයට ආවේණික වූ ඉලක්කයන්ය. මේවා සපුරා ගැනීමට කටයුතු කරන ඔහුට ආහාර යනු තවත් සතුරෙකු මිස මිතුරෙකු නොවේ. ඇතැම් විට අදාළ ආයතන ප්‍රධානියාද නියමිත මාත්‍රාවට ආහාර නොගන්නවා විය හැකිය.

වර්තමානයේ පාසල් අධ්‍යාපනය ලබන ශිෂයින්ද මෙහි ගොදුරු වී ඇත. එපමණක් නොව  විශ්වවිද්‍යාල ශිෂ්‍යයාගේද පෝෂණ මට්ටම පිළිබඳව අවධානය යොමු කළ යුතුව පවතී. සමාජයේ තවත් බොහෝ රැකියා වල නිරත වන පිරිස් කොතරම් විශාල වැටුපක් ලැබුවද ඉන් තම ශරීරයේ පැවැත්ම සඳහා හේතුවන ආහාර වෙනුවෙන් කොතරම් මුදලක් වැය කරනවාද යන්න නිකමට හෝ නොසිතන්නට ඇත. හුදෙක්ම එවන් දේ සිදු වනුයේ මුදල් වියදම් කිරීමට ඇති ලෝභීත්වය නිසා නොව ඒ සඳහා වේලාවක් නොමැතිකම නිසාය.

 ඔබ මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට නම් දිනපතා ජලය ලීටර් 2 ½ක් වත් පානය කළ යුතුය. අවුරුදු ගණනක් පරණ වු ඇපල් වෙනුවට පිරිසිදු පළතුරු ආහාරයට ගැනීම නීරෝගී සෞඛ්‍යයට හේතු වේ. ලුණු භාවිතය පාලනය කරමින් උදෑසන ආහාර වේල මඟ නොහැරිය යුතු සේම මේදය බහුල ආහාර නිතර නිතර ගැනීමෙන්ද වැළකිය යුතුය. මේවා ඔබ විසින් පිළිපැදිය යුතු නීති නොවේ.  ඒවා රීතීන් ලෙස මතක තබා ගත යුතුය. හේතුව යම් යම් අවස්ථාවලදී රීතීන් තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කර ගත හැකි බැවිනි.

මේවා කෙසේ කීවත් ඇතැමුන් මෙවන් අදහසක් කියවන්නට හෝ සවන් දෙන්නට තරම්වත් නිදහස් නොවන බව දනිමි. එහෙත් අපි විහිලුවට මෙන් පවසන බොරු බිසීකාරයෝ අප අතර සිටිති. ‍පේස් බුකියේ කාලය කා දමමින් තම ආහාර වේලද කා දමන්නෝ අප අතර සිටිති. අතීතයේ අපේ අම්මාවරුන්ට වී කොටන්නට මෝලක් , හාල් තම්බන්නට රයිස් කුකරයක් ,එළවලු උයන්නට ගෑස් කුකරයක් ,පොල් ගාන්නට මැෂිමක් ,වතුර ගන්නට ටැප් ලයින් හෝ රෙදි සෝදන්නට වොෂින් මැෂින් නොවීය. ඉදින් අදට වඩා අතීතයේ අපේ අම්මා කාර්යයබහුලය. වර්තමාන අම්මාට මේ සෑම පහසුකමක්ම ඇත. එසේ තිබියදී උදෑසන ආහාර නොගෙන රැකියාවට යන ස්වාමිපුරුෂයින්ද පාසලට යන දරුවන්ද අප අතර සිටියි. නිවැසියන්ගේ පෝෂණය වෙනුවෙන් අම්මා සැළකිය යුතු දායකත්වයක් දැක්වීම වරදක් නොවේ. ලිපිය අවසන  බොරු බිසී හරි බිසී සියල්ලන්ටම යමක් මතක් කරනු කැමැත්තෙමි. ළඟ ළඟ බිසී ළඟ ළඟ නසී යනුවෙනි.

සටහන        කේ ජී දිස්නා කුමාරි
                  කැලණිය විශ්වවිද්‍යාලය  


2 comments: