Thursday, June 11, 2015

අම්මා....... ඇය ජීවිතේ අසීමිත දුක් ගොඩක් උහුලනවා.



නිමක් නැති ආදරේ............

අද මම ලිපිය ලියන්න ඇවිත් කල්පනා කළා මොනවද ලියන්නේ කියලා. නිදිබර ගතිය නිසාද දන්නේ නැහැ මොකුත්ම ඔලුවට ආවේ නැහැ. ඒ අතරතුර තමයි ගෙදරින් දුරකථන ඇමතුමක් ආවේ. කථා කළේ අම්මා. සුපුරුදු ලෙන්ගතු කටහඬ මට ඇගෙන් ඇහුණා.වෙනද වගේම ආදරෙන් හෙලෝ අම්මේ කියලා කිවුණා.ටිකක් වෙලා කථා කළා. නැවත මම පියවි ලෝකයට ගොඩ වැදුණා. මම ලියන්නට ගත්තා මේ විදියට.

අම්මා....... ඇය ජීවිතේ අසීමිත දුක් ගොඩක් උහුලනවා. බුදුන් තරමටම වන්දනාමාන කළ හැකි එකම වස්තුව ඇයයි.  ඉතා ආගන්තුකව කොහේ හෝ සිට පැමිණුන අපට ඇය ආදරය කළ අපූරුව හරි ලෙන්ගතුයි. ඇතැම් වෙලාවට ඇයට අපේ ආගන්තුක බව දරා ගන්න බැරි වෙනවා. බඩවැල් කඩාගෙන එළියට එනකම් වමනේ දානවා.දරුවෙක් මවකගේ කුස පිළිසිඳගත් මෙහොතේ ඉඳලම මේ වගේ දුක් ගොඩක් ඇය විඳිනවා. හරියට කන්න බෑ. කන්න ආසා හිතෙන ගොඩක් දේවල් අපි වෙනුවෙන් නොකා ඉන්නවා. විනෝද වෙන්න විදියක් නෑ. සැප පහසුවට නින්දක් නෑ. හැම වෙලේම අපි ගැන හිතනවා.

කෙහොම හරි ආරක්ෂා කළ දරුවා මේ ලෝකයට බිහි කරන දවස එනවා.  එදාට අම්මා කෙනෙක් ජීවිතයත් මරණයත් අතර සටනක් කරනවා. ඇය විඳින දුක දන්නේ ඇයම විතරයි.හිතා ගන්න බැරි තරම් ලොකු මස් ගුලියක් එළියට එද්දි දරන්න වෙන වේදනාව හරිම පුදුමයි. ඇත්තටම ඇය කෙහොමද මේ දුක ඉවසන්නේ කියලා හිතෙනකොටත් ඇගට වේදනාවක් දැනෙනවා. අම්මා කෙනෙක් ජීවිතේ දරුවෙක් අඬනවා දකින්න කැමති එකම එක අවස්ථාවයි. ඊට පස්සේ කවදාවත් ඇය කැමති නැහැ තමන්ගේ රත්තරං දුව පුතා අඬනවා දකින්න. පොඩ්ඩක් හිතන්න අපි ජීවිතේ කොච්චර ඇයව රිදවනවද කියලා. ඒ වුණාට  කවදාත් අපිත් එක්ක තරහ වෙන්නේ නෑ.හැමදාමත් එකවගේම ආදරේ කරනවා. ඇගේ ආදරේ ගැන කිසිම දෙගිඩියාවක් නෑ. ජීවිතේ අපි ආදරේ කරන විශ්වාස කරන කවුරු අපට නැති වුණත් අපේ අම්මා හැමදාම අපිත් එක්ක ඉන්නවා.

ඇගේ ඉවසීම හරිම වෙනස්. ඇයට බෑ තමන්ගේ දරුවට වෛර කරන්න .ජීවිතේ පුලුවන් හැමදේම අඩුවක් නැතිව දීලා විවාහ වෙනකම්ම ඇය අපේ පස්සෙන් ඉන්නවා. ඉගෙන ගනිද්දී හැමදාම උදේ පාන්දර ඇහරිලා බත් එකක් බැදලා පස්සෙන් දුවලා ඇවිත් බත් කටවල් දෙක තුනක් කවනවා. බැරිවෙලාවත් ඉස්කොලේ ඇරිලා එන්න පරක්කු වුණොත් ඇඟේ ලේ වතුර වෙනවා.දන්නෙම නැතුව පාරදිගේ ගොඩාක් දුර යනවා. විභාගයක් පාස් වෙද්දී ඇය තාත්තා එක්ක සතුටු වෙන්නේ හරියට පුංචි කෙල්ලක් වගේ. එදාට ඇය ඉන්නේ මුලු ලෝකයම ගෙදරට ගෙනාව වගේ. ජීවිතේ එතෙක් විඳපු හැම දුකක්ම එදාට ඇගෙන් නැතිවෙලා යනවා. ඒ වෙනකම් මුණේ තිබුණ මහන්සිය අවුරුදු ගාණකට පස්සේ ඇයව දාලා යනවා. මේ ඇය ජීවිතේ සතුටින් ගත කරන අතලොස්සක් දවස් අතරින් එකක්.

මොකක් හරි වරදකට තාත්තා කෑ ගහද්දී කාටවත් නොපෙනෙන්න හොරාට අඬන හැටි මතක් කරන්න හරි අමාරුයි අම්මේ. හැමෝටම හොඳට නින්ද යන්න රෙදි පොරවලා මදුරුවෝ තළ තළා පැය තුනක් විතර නිදා ගන්න හැටි. මට හිතෙනවා මේ හැම දුක්ම විඳින්න පුලුවන් ඇයට විතරයි කියලා. හමෝටම ඉස්සෙල්ලා අහැරිලා සුපුරුදු රාජකාරියට කුස්සියට යන්නේ රෑ හංගපු දෙයක් හොයා ගන්න යනවා වගේ. හැම මෙහොතෙම ජීවිතෙත් එක්ක ඔට්ටු වෙන ඇයට හුරු පුරුදු නවාතැන වෙන්නේ ගෙදරයි.

පුතාට බිරිඳක් හොයා ගනිද්දී දුවට සැමියෙක් හොයා ගනිද්දී අම්මා ආදරයයි සතුටයි අතර අතරමං වෙනවා. තමන් ආදරේ කළ දුව පුතා වෙන කෙනෙකුට ආදරේ කරද්දී එළියට නොපන්නුවට හිත ඇතුළෙන් ගොඩක් දුක් වෙනවා කියලා හිතෙනවා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි. ඈ හරි බයයි එච්චරකල් මලක් වගේ බලාගත්තු දරුවට කරදරයක් වෙයි කියලා. ඒ නිසා මට හිතෙන්නේ නැහැ අම්මේ ඔබ ආත්මාර්තකාමියි කියලා.

කවුරු කොහොම කිව්වත් අම්ම කෙනෙක් ජීවිතේ මැරෙනකම්ම තමන්ගේ දරුවෝ  වෙනුවෙන් ඉන්නවා. එච්චරයි මං දන්නේ. අම්මේ ඔයාගේ රතු ලේ සුදු කිරි බවට පත් වුණේ සීමාවක් නැති ආදරය නිසයි. අපිට තේරෙයි මේ හැම දේම අපිත් අම්මලා වුණු දවසට. ඒක මට  හොඳටම  විශ්වසයි. මේ කතා කළ හැම වචනයක්ම මගේ අම්මා ගැනනම් නෙමෙයි. අපේ අම්මා ගැන.

සටහන        කේ ජී දිස්නා කුමාරි
                   කැලණිය විශ්වවිද්‍යාලය

4 comments: